චිත්‍රපට ඉතිහාසය

          කවුරු කවුරුත් ‍ෆිල්ම් බැලුවට හුග දෙනෙක් චිත්‍රපටි වල ඉතිහාසය දන්නේ නැති නිසා මේ පෝස්ට් එක දාන්න හිතුවා. මේකේ සදහන් වෙනවා ලෝකේ මුල්ම චිත්‍රපටය ගැනත්. ඔයාලා දන්නවද ඒ ‍ෆිල්ම් එක IMDB රේටින්ස් 8.0ක් අරන් තියනවා. මේ පෝස්ට් එක කියවලා බලන්නකෝ.    
                          චිත්‍රපට ඉතිහාසය, 19 වන සියවසේ අග භාගයේ සිට 21 වන සියවසේ ආරම්භය දක්වා අවුරුදු සිය ගණනකට විහිද යයි. චිත්‍රපට කළාව මූලාරම්භයේ සිට ක්‍රම ක්‍රමයෙන් සන්නිවේදනයේ සහ රසාස්වාදයේ අංගයක් ලෙස මෙන්ම 20 වන සියවසේ ජන සන්නිවේදනයේ වැදගත් අංගයක් ලෙස වර්ධනය විය. චිත්‍රපට මඟින් කලාව, තාක්ෂණය සහ දේශපාලනය යන අංශ වෙත සැලකිය යුතු බලපෑමක් ඇති විය. චිත්‍රපටියේ උපත ලුවිස් ලී ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝබර් 14 වන දින එංගලන්තයේ, බටහිර යෝක්ෂයරයේ, ලීඩ්ස්, රවුන්ඩ්හේ හි දී චිත්‍රපටයට නගන ලද දෙවන පරීක්ෂණාත්මක චිත්‍රපටය වන “රවුන්ඩ්හේ ගාඩ්න් සීන්” (Roundhay Garden Scene,) දැනට ඉතිරි වී ඇති මුල්ම චිත්‍රපටය ලෙස පොදුවේ පිළිගැනේ. 1878 දී ලේලන්ඩ් ස්ටෑන්ෆෝර්ඩ්ගේ අනුග්‍රාහකත්වය යටතේ, එඩ්වඩ් මයිබ්‍රිජ් විසින් “ඔසිඩන්ට්” නැමැති අශ්වයෙකුගේ වේග චලන, ත්‍රිමාණේක්ෂ කැමරා 12ක ශ්‍රේණියක් භාවිතා කර කැමරාගත කළේය. මෙම ප්‍රථම අත්දැකීම ජුනි 11වන දින කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝ ගොවිපලේ දී සිදු කෙරුණි. මෙහි කැමරා, අශ්වයාට සමාන්තර මාර්ගයක සකසා තිබුණ අතර, සෑම කැමරා පියනක්ම අශ්වයාගේ කුරවලින් ප්‍රේරණය වන පැන්නුම් කම්බියකින් පාලනය කරන ලදී. මෙහි අශ්වයාගේ කුරවලින් ප්‍රේරණය වන පැන්නුම් කම්බියකින් පාලනය කරන ලදී. මෙහි අශ්වයාගේ ධාවන අඩි 20ක් ආවරණය කිරීම සඳහා වෙනම අඟල් 21ක් තිබූ අතර තත්පරයෙන් දහසෙන් එකක දී ඡායාරූප ගන්නා ලදී. 1893 දී චිකාගෝහි ලෝක කොළොම්බියානු ප්‍රදර්ශනයේ දී, මයිබ්‍රිජ් විසින්, සත්ව සංචාරණය පිළිබඳ දේශන මාලාවක් පැවැත්විය. එම දේශන මාලාව ප්‍රදර්ශනයේ “Midway Plaisance" ශාඛාවේ ඒ සඳහාම ප්‍රථම වානිජ සිනමා ශාලාව බවට පත් කරමින්, ඔහුගේ “zoopraxiscope” උපකරණය භාවිතා ඔහුගේ චලන චිත්‍රයන් මහජනතාවගෙන් මුදල් අයකර ප්‍රදර්ශනය කළේය.

          රූප පේළියක් අඩංගු ප්‍රායෝගික ආකාරයක සෙලියුලොයිඩ් පටියක් නිර්මාණය කිරීමේ ගෞරවය, එඩ්සන් රසායනාගාරයන්හි ප්‍රධාන ඉංජිනේරු, විලියම් කෙනඩි ‍ලෝරි ඩික්සන් මහතාට හිමිවේ. මෙය චලන රූප කැමරාගත කිරීමේ සිහින්ව කපා ඉන්පසු රත් වූ පීඩන තහඩු මඟින් ඉවත් කෙරෙනු ලැබේ. ඉන් අනතුරුව ඒවා ඡායා සංවේදී ජෙලටීන් දිස්නමය ආලේපයකින් වසනු ලැබේ. 1893 දී චිකාගෝ ලෝක සැණකෙලියේ දී තෝමස් එඩිසන් විසින් මහජනාතාවට මෙම අලුත් නිමැවුම මත පදනම් වූ ප්‍රධාන නිමැවුම් 2ක් හඳුන්වා දුන්නෝය; එනම් ප්‍රථම ප්‍රායෝික චලන රූප කැමරාව වන “Kinetoscope” වේ. මෙහි පසුව සඳහන් කළ උපකරණය මඟින් චිත්‍රපටයේ සෙලියුලොයිඩ් අඛණ්ඩ ඡායාරූප තාපදීප්ත ලාම්පුවක් මඟින් පිටුපසෙහි ආලෝකමත් වූ අතර (මෙයට විදුලි මෝටරයක් මඟින් ශක්තිය සපයන ලදී) එය කු‍ඩාදේ විශාල කර බලන කාචයකින් දර්ශනය විය. නරඹන්නා විසින් උපනෙතක් තුළින් රූපය නරඹන ලදී. මෙම “Kinetoscope” හි ඇතුළත, ඩික්සන් විසින් එඩිසන්ගේ “Black Maria" චිත්‍රාගාරයේ දී ඡායාරූපගත කරන ලද අඩි 50 චිත්‍රපට කොටස්වලින් සමන්විත විය. මෙමඟින් සාමාන්‍ය රසවත් නොවන සිදුවීම් (1894 දී “ෆ්‍රෙඩ් ඔට්ගේ කිවිසුම” වැනි) මෙන්ම කරනම් වැනි විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රියා, සංගීත ශාලා රැගුම් දක්වන්නන් සහ බොක්සිං නිරූපන ආදිය පටිගත කරනු ලැබුණි. “Kinetoscope” සාර්ථක ලෙස යුරෝපය කරා පැතිරිණි. කෙසේ නමුත්, ඔවුන් බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ පෙර පරීක්ෂණ සහ නව නිමැවුම් පිළිබඳ බොහෝ විශ්වාසය තබා සිටි බැවින්, එඩිසන් කිසිම දිනක අත්ලාන්තික්හි අනෙක් පැත්තට මෙම උපකරණවල පේටන්ට් බලය ලබා දුන්නේ නැත. මෙය බ්‍රිතාන්‍ය විදුලි ශිල්පී සහ විද්‍යාත්මක උපකරණ නිපැයුම්කරුවකු වන රොබට් ඩබ්. පෝල් සහ ඔහුගේ සහායක බර්ට් ඒකර්ස් විසින් අලු‍තින් නිපදවන ලද කැමරාව වැනි අනුකරණයන් සඳහා තුඩු දුන්නේය. පෝල්ගේ අදහස වූයේ චලන චිත්‍රයන් තනි නරඹන්නන්ට වඩා ප්‍රේක්ෂක කණ්ඩායම්වලට ප්‍රදර්ශනය කිරීමයි. එබැවින් ඔහු චිත්‍රපට ප්‍රක්ෂේපකයක් නිපද වූ අතර, 1895 දී එහි ප්‍රථම මහජන ප්‍රදර්ශනය පැවැත්විය.

මෙම වකවානුවේ දීම, ප්‍රංශයේ Auguste සහ Louis Lumière විසින්, කැමරාව, මුද්‍රණ යන්ත්‍රය සහ ප්‍රක්ෂේපකය යන 3ම එකම අඩංගු අතේ ගෙන යා හැකි උපකරණයක් වන “cinematograph” නිර්මාණය කළේය. 1895 අගභාගයේ පැරීසි නගරයේ Antoine Lumière පියතුමා විසින් මහජනයාගෙන් මුදල් අය කරමින් ප්‍රක්ෂේපිත චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කළේය. මෙමඟින් ප්‍රක්ෂේපනය සඳහා අවශ්‍ය මාධ්‍යය පිළිබඳ සංවාදයක් ආරම්භ විය. (1990 ,කුක්) “Workers Leaving the Lumière Factory” සහ “The Sprinkler Sprinkled” වැනි හාස්‍යජනක නාට්‍ය (1895) සමඟ ඔවුන් ඉතා ඉක්මනින් යුරෝපියෝ ප්‍රධාන නිෂ්පාදයන් බවට පත්විය. ආරම්භයේ දී ප්‍රක්ෂේපනය හෙලා දකිනු ලැබු එඩිසන් ද, මාස 6කට අඩු කාලයක දී “Vitascope” සමඟ මෙම රැල්ලට එකතු විය. යුරෝපයේ ප්‍රථම චලන රූප චිත්‍රපට හිමිකාරීත්වය ප්‍රදර්ශනය බර්ලින්හි මැක්ස් සහ එමිල් ස්ක්ලැඩනොවුස්කි සතු වන අතර ඔවුන් එය 1895 නොවැම්බර් 1 වන දින සිට 31 දින දක්වා "Bioscop" නැමැති චංචලන රහිත ද්විත්ව නිර්මාණ උපකරණය මඟින් ප්‍රක‍්ෂේපණය කළහ. එම වර්ෂයේදීම මැයි මාසයේ දී ඇමරිකාවේ ඉවුජීන් ඔග්ස්ටින් ‍ලෝස්ටේ විසින් Latham පවුල වෙනුවෙන් ඔහුගේ Eidoloscope උපකරණය නිර්මාණය කළේය. නමුත් ප්‍රථම මහජන චිත්‍රපට පෙර දැක්වීම කරනු ලැබුවේ ජීන් අයිමේ “ඇක්මේ” ලි රොයි නම් ප්‍රංශ ඡායාරූප ශිල්පියා විසිනි. ඔහු විසින් ඔහුගේ 40 වැනි උපන්දිනයේ දී තිබූ 1894 පෙ‍බරවාරි 5 වන දින ඔහුගේ “ආශ්චර්යමත් සිනමා රූප” නිව්යෝර්ක් නඟරයේ ව්‍යාපාරිකයින් 20 දෙනෙකුගේ පමණ කණ්ඩායමකට ප්‍රදර්ශනය කළේය. එකල චිත්‍රපට බොහොමයක් තාවකාලික වෙළඳසැල් ඉදිරිපිට අවකාශයෙහි සහ සංචාරක ප්‍රදර්ශකයන් හෝ විවිධ ප්‍රසංග වැඩසටහන් ආදිය හරහා දක්නට ලැබුණි. එක් චිත්‍රපටයක් මිනිත්තු එකක කාල සීමාවකට යටත් වූ අතර සාමාන්‍යයෙන් එක් ජවනිකාවක් ප්‍රදර්ශනය කෙරුණි. ඊට තාත්වික හෝ වේදිකාමය, එදිනෙදා ජීවිතය පිළිබඳ මහජන ක්‍රියාකාරකම් ක්‍රීඩා අංගයක්හෝ විනෝදජනක නාට්‍යයක් ඇතුළත් විය. මෙය තුළ සිනමා රූපී තාක්ෂණික ක්‍රම ඉතා අල්ප හෝ නැති තරම් විය. එමෙන්ම ඒවායෙහි සංස්කරණයක් නොමැති වූ අතර සාමාන්‍යයෙන් කැමරා චලන ද නොමැති නීරස නාට්‍යමය රචනා විය. නමුත් නවීන තාත්විකමය චලන ඡායාරූප, සියවස අවසාන වීමට පෙර ලෝකය පුරා රටවල චිත්‍රපට කර්මාන්තය වේගයෙන් පැතිර යාමට ප්‍රමාණවත් විය.


 උපුටා ගැනීම : විකිපීඩියා නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍. 

1 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. ගොඩක් ප්‍රයෝජනවත් ලිපියක්

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013